සත්‍යයේ ප්‍රථමයා  ලෙස පෙනී සිටින දෙරණ මාධ්‍ය ජාලය ඕනෑම කුණූ ගොඩක් ජනතාවට ලබා දෙමින් සිය මාධ්‍ය නාලිකාව වෙත ජනතා ආකර්ශනය දිනා ගැනීමට කටයුතු කරමින් සිටියි. ඒ සදහා හොරණෑ පිඹින්නේ චතුර අල්විස් ය. රූපවාහිනි තිරය ඉස්සරහට පැමිණ ජනතාවට මහා පොරක් වන චතුර පෙනී සිටින්නේ ජනතා නියෝජිතයෙකු ලෙසිනි. රටේ ප්‍රශ්න හමුවේ ඔහු තරම් සංවේදී වන පුද්ගලයෙකු මිහිපිට නොමැති තරම්ය.

ඔහු විසින් සිදු කරන ‘ Talk with Chathuta’  වැඩසටහන තුළින් පසුගිය දවසක මේ රටේ අහිංසක ජනතාවගේ මුදල් වංචාකළ, කැසිනෝ සූදු ගසමින්, ස්ත්‍රී දුෂණ චෝදනා ලබා රටෙන් අතුරුදහන් වූ පසුව අවුරුදු 9 ක් සිර දඩුවම් විද එළියට පැමිණි සක්විති රණසිංහ නම් වූ මහා වංචනිකයා යනු අහිංසක, සංවේදී, අතපසු වීමකින් සියලු වැරදි සිදු වූ පුද්ගලයෙකු බව පෙන්වීමට චතුර අල්විස් මහා රංඟනයක යෙදුනේය.

“මම ඉගැන්වීමට උපන්නෙමි” යන උද්ධෘතය සහිත මේ සක්‌විති රණසිංහ රටටම ඉගැන් වූයේ ඉංග්‍රීසි පමණක්‌ම නොවේ. වැඩි පොළියක්‌ පතා ඔහු සක්‌විති හවුස්‌ කන්ස්‌ට්‍රක්‌ෂන් පුද්ගලික සමාගම, ෂඔ මැනේඡ්මන්ට් සොලියුෂන් ඉන්ස්‌ටිටියුට්‌, එක්‌සත් ඉන්ටර් නැෂනල් ස්‌කූල් සහ සක්‌විති සිකියුරිටි මෑන් පවර් ආයතනය සමඟ ගනුදෙනු කළ සිය දහස්‌ ගණනක්‌ පසුගිය 2008 වසරේ නොවැම්බර් මාසයේදී විපතට පත්වූ ආකාරය අපට හොඳහැටි මතකය.

නමුත් බුදුන්ගෙන් බණ අසා දමණය වූ අංගුලිමාල මෙන් දැන් සක්විති අවුරුදු 9 කින් පසු සක්විත්තෙකු වී ඇති බව පැයක ගුවන් කාලය ලබා දෙමින් දෙරණ මාධ්‍ය ජාලය හරහා ප්‍රචාරය කොට හමාරය. එමෙන්ම හොඳම විහිලුව වන්නේ මුදල් වංචා සම්බන්ධව තවමත් නඩුව ක්‍රියාත්මක වන මොහොතක සමාජය ඉදිරියේ  ‘ Talk with Chathuta’  වැඩසටහන හරහා සක්විත් නිවැරදි කරු වෙකු වීමය. එපමණක් නොව එක රැයින් සක්විතිගේ ඉංග්‍රීසි පංතියට විශාල ප්‍රචාරණයක් ද හිමි විය.

විද්‍යුත් මාධ්‍යකරණය යම් කිසි පුවතක් සමාජ ගත කරන්නේ සැබැවින්ම තමන්ගේ ආයතනයේ ජනප්‍රියත්වය සඳහා පමණක් ද? එම පුවතෙන් සමාජයට සිදු වන අයහපත පිළිබඳ ඔවුනට කිසිදු වගකීමක් නොමැති ද? සක්විති වැනි මහා පරිමාණයේ වංචනිකයෙකු නැවත සමාජයේ මහා දැවැන්තයෙකු ලෙස පුද්ගල ප්‍රතිරූපය ගොඩ නැගීමෙන් සමාජයට වන හානිය හා එයින් ලැබෙන වැරදි පූර්වාදර්ශය පිළිබඳ වගකීම භාර ගන්නේ කවුරුන් ද?