දැනට ඉදිරිපත් කර ඇති ගෝටාගේ, අනුරගේ හෝ මහේෂ්ගේ හෝ ප්‍රතිපත්ති ප්‍රකාශණවල දුප්පත්කම ගැන සාකච්ඡාවක් නැත. තිබුනත් ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. දුප්පත්කම හෝ සමාජ ආරක්‍ෂණ වැඩ පිලිවෙලක් ප්‍රතිපත්ති ප්‍රකාශණයක ප්‍රධාන අංගයක් විය යුතුය. ලෝකයේ දියුණු රටවල ප්‍රධාන දේශපාලන පක්‍ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශණවලත් එය ප්‍රධාන වශයෙන් සාකච්ඡාවේ. ඇත්තව වශයෙන්ම දුප්පත්කම ගැන වැඩියෙන්ම මැතිවරණ වේදිකාවේ කතා කරන අපේක්‍ෂකයා සජිත් ය. ඔහු ඒ හැර වෙන දෙයක් ගැන කතා නොකරන ගානය. අනුරත් දුප්පත්කම ගැන ඔහුගේ හැම කතාවකදීම කියයි. ඒත් මේ කවුරුත් ඒ ගැන කොතරම් සබුද්ධිකව කතාකරනවා දැයි නොදනිමි.

පෙරේදා ලංකාවේ ප්‍රථම වතාවට ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස කාන්තාවන්ට සනීපාරක්‍ෂ තුවා ලබාදීම ගැන සජිත් කී දේට මම නැවත නැවත කී අකාරයට ඔහුට අපේ ගෞරවය හිමිවිය යුතුය. එය කීමට අනුරටවත් ආත්ම ශක්තියක් තිබුනේ නැත!!!! ඒත් සජිත් උනත් කතා කරේ සනීපාරක්‍ෂාව පිලිබඳ දුප්පත්කමේ (Period poverty) එක කොටසක් වන “සනීපාරක්‍ෂක තුවා” ගැන පමණි. එහි අනික් අංශ ගැන ඔහු කතා කලේ නැත.

මම ඔවුන් මේ වෙනුවෙන් මෙතෙක් කියා ඇති දේවල් අවතක්සේරු නොකරමි. ඒත් ඔවුන් මේ දුප්පත්කම ගැන ප්‍රශ්ණය හරියට ආමන්ත්‍රණය කරනවාද යන්න ගැන නැවත සිතා බැලිය යුතුය. නිදන්ගත දුප්පත්කම, එහෙම නැත්නම් මූලික අත්‍යාවශ්‍ය දේවල් නොමැතිව අත්තකිලමථයෙන් ජීවිතය ගතකරන අය ගැනවත් හරි හමන් සාකාච්ඡාවක් මේ මැතිවරණයේදී මතු කර ගැනීමට ඡන්දදායකයින්ට, ඒ සඳහා වැඩකරන රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජවලට නොහැකිවී ඇත.

ළමා දුප්පත්කමේ සිට අවමගුල් දුප්පත්කම (funeral poverty) දක්වා දුප්පත්කමේ කැටගරි තිබේ. දියුණු රටවල අනෙකුත් දුප්පත්කම් අතර සනීපාරක්‍ෂාව පිලිබඳ දුප්පත්කම, ආහාර පිලිබඳ දුප්පත්කම, ඇඳුම් පිලිබඳ දුප්පත්කම, නිදාගැනීමට ළමයින්ගේ සිට මහල්ලන් දක්වා ඇඳන් නැති කමේ දුප්පත්කම (bed poverty) සිට ගෙවල් වල ඇතිකරන සුරතල් සතුන් හරි හමන් ලෙස බලාගැනීමට නොහැකිවීමේ දුප්පත්කම (pet poverty) වගේ අතිවිශාල පරාසයක විහිදෙන ලෙස දුප්පත්කම ඛණඩනයකර සාකච්ච්ජා කරයි. ඒ සඳහා රාජ්‍යය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානත්, උනන්ඳුමත් සංවිධාන කටයුතු කරයි.

එංගලන්තයේ සිටියදී මා ඇසුරු කල “දුප්පතුන් යැයි තමන් හිතූ අයට” තිබ්බ දුප්පත්කමේ තරම නම් – අවුරුද්දකට වරක් හෝ හොලිඩේ යාමට (පිටරටකට හෝ එක්සත් රාජධානිය තුල හෝ), සතියකට වරක්වත් රෙස්ටුරන්ට් එකකින් පවුල සමඟ ගොස් ආහාර වේලක් ගැනීමට – මුදල් නොමැතිවීම වැනි ප්‍රශ්ණය. නමුත් ඒ රටේ නිදන්ගත දුප්පත්කමේ එක එක කැටගරි තිබේ. ලංකාව වැනි දුප්පත් රටක ඒ ගැන කියනු කවරේද. පවුල් පිටින් ගෝල්ෆේස්/මූද/කැළණි පංසල පෙන්නන්න එක්කන් යනවා, කන්න බොන්න දෙනවා කියා කොළඹට දේශපාලන රැස්වීම්වලට එක්කන් එන්නේ ඔවුන්ට තම මුදලින් කිසිදා ඒවා බලන්නට යෑමට නොහැකි නිසාය. දුප්පත්කමේ කැටගරි ගොඩකි.

මේ අල්ලපු ගෙදර ගෑණි අලුත් ඇඳුමක් ගත්තා, මටත් එකක් ගන්න ඕනෙ/ ඒ ගොල්ල කුස්සියට කබර්ඩ් ගැහැව්ව අපිත් ගහන්න ඕනෙ, ඒ මිනිහ බයික් එක්කක් ගත්ත අපිත් ගන්න ඕනෙ, ඒ ගොල්ලන්ගෙ කාර් එකට වඩා හොඳ කාර් එකක් අපි ගන්න ඕනෙ ආදී වශයෙන් කියමින් ණය/ෆිනෑන්ස් ගන්නා අය නොවේ. මූලික අවශ්‍යතාවයන් නොමැති අයගේ නිදන්ගත දුප්පත්කමේ කැටගරිවලට අය අය ගැනය.

ඒ අයව දුප්පත්කමින් මුදවා ගැනීමට මේ අය ගන්න ක්‍රියා මාර්ග කවරේද? මේ අය මොනවද කියන්නේ කියන ප්‍රශ්ණයයි මා මතු කරන්නෙ.

ඒ වගේම සමෘදිය හෝ ඒ සමඟ ජනසවියත් දෙනවා කියා සජිත් කියන විට හෝ දිවිනැඟුම දෙනවා කියා තවකෙක් කියන විට හෝ, පරණ පිං පඩි දෙන කාලේදීවත් හෝ – ඒ අය මේව ලබා ගැනීමට යන විට – ඒදුප්පතුන්ගේ ආත්මගරුත්වය ගැනවත් මේ අය හිතා තිබේද? ඒ හා බැඳුන ඔවුන් විඳින ලැජ්ජාව/අපහාසය ගැන මේ අපේක්‍ෂකයින් මොකුත් කියනවාද?

දුප්පත්කම ගැන හොඳම විග්‍රයක් තම අම්මා හා අක්කත් ඉන්න රැස්වීමක සමාජයට කියා දුන් අනුරටවත් ඒ දුප්පත්කමේ එක එක කැටගරි ගැන තිබෙන විසඳුම් මොනවාද කියා කියනවාද? සජිත් දුප්පත්කම ගැන කීවාට අනුර වගේ ඉස්කෝල සිසුවෙක් ලෙස ඉන්නා කාලයේදී කෝච්චියේ ටොපි, අඹ, සිගරට් විකුණා අත්දැකීම් නැත. අක්කා කුලියට කැවුම් බදින්නට ගොස් අත පුච්චාගෙන දුක් විඳීමේ අත්දැකීම් නැත. ඒවා ප්‍රසිද්ධියේ කියන්න අනුරට තිබ්බ ආත්ම ශක්තිය සජිත් ගේ තාත්තාටවත් තිබ්බේ නැත.

සජිත්ගේ තාත්තාට ලැවරියා විකුණා, මාර්ටිනස් සහෝදරයාගෙ කරේ නැග පෝස්ටර් ගසා දුප්පත්කමේ අත්දැකීම් තිබ්බත් සජිත්ට දුප්පත්කම හරි හැටි තේරෙනවාද? තාත්තා දුප්පත්කම ගැන කතා කරේ ඓන්ද්‍රීයව ඔහු ඒ ගැන දන්න නිසා. ඒත් සජිත්ට මොනවද එහෙම තේරෙන්නෙ.?

ගෝටා මේ ගැන මොකු නොකියන නිසා එතුමා ගැන මම කතා නොකරමි. එතුමා කොම්පියුටර් පොඩි දේවල් ටිකක් දන්න නිසා ඒකෙනුත්, හමුදාවෙ ඉඳල තියෙන නිසා ඒකෙනුත් රටෙ ප්‍රශ්ණ විසදන්න හදන කෙනෙක් එයාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශණය අනුව.

එසේම ලංකාවේ වැඩිවියට පත් පාසල් දැරියන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මාසික ශුද්ධිය සිදුවන කාලය ඇතුළත පාසල් යන්නේ නැහැ කියා කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය.

බ්‍රිතාන්‍යයේ ද සෑම කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට අපහසු බව කියන්නේ බ්‍රිතාන්‍ය සඟරාවක්.

දරන්න බැරි වේදනාවක් යටි බඩෙනුත් හිසෙනුත් පිටවෙද්දී එය උහුලාගෙන ජීවිත අරගලයේ යෙදෙන බව කියන්නේ ආර්ථවය සිදුවන කාන්තාවන්.

ලංකාවේ අති බහුතර ග්‍රාමීය කාන්තා ප්‍රජාව ආර්ථික දරිද්‍රතාව නිසා පමණක් තවමත් සිය ඔසප් දිනවලදී කිසිදු සනීපාරක්ෂාවකින් තොර රෙදි කැබලි පාවිච්චි කරමින් සිටින බව දන්නේ කවුද?. ග්‍රාමීය දැරියන්ගෙන් කී දෙනකු තම ආර්තව සමය තුළ පාසලට පැමිණෙන්නේදැයි සොයා බලා ඇති කෙනෙක් ඉන්නවද?

කාන්තාවකගේ ජීවිතයේ වසර 30ක් පමණ ආර්තවය සිදු වෙයි නම් ඇය විසින් වසරකට සනීපාරක්ෂක තුවා 240ක් භාවිතා කළ යුතුයි.ජීවිතකාලය පුරා සනීපාරක්ෂක තුවා 7,200ක් පමණ පාවිච්චි කළ යුතුයි.

එදා වේලත් අහිමි මිනිසුන්ට එවන් වියදමක්..?

ගැහැනියක් මවක් වීමට විඳින වේදනාව දරනවා තියා හිතන්නටවත් පිරිමියෙකුට බැරිය. ආර්ථව වේදනාව දෙවැනි වන්නේ ඊට පමණක් යැයි ඇතැමුන් කියයි.මා‍‍සෙකට වතාවක් ජීවිතයේ අඩකටත් වැඩි කළක් එවන් වේදනාවක්…!

‍දේශපාලනය පසෙකින් තබන්න.සිනාසීමටත් විවේදනයටත් ඇතිපදම් කරුනු කාරණා තිබියදී ඔබේ සංවේදී ප්‍රශ්නයට සිනා නොවන්න. මහා තාක්ෂනික විප්ලව ගැන අටෝරාසියක් මහප්‍රාණ කියවන අතර දූවිලිමත ඇදෙන ප්‍රශ්නයත් විමසන්න. එහෙත් කාත් කවුරුවත් මායාම් නොකළ ප්‍රශ්නයක් විමසුමට ලක් කළ ප්‍රවණතාවය අගයන්න.

සජිත් ‘සියලු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන බවත් ඔසප් නිවාඩුවක් දෙන බවත්‘ කියා ඇතිනම් ඊට සිනා සෙන්නේ කොහොමද,මොන හිතකින්ද?
එය දේශපාලන පොරොන්දුවක් පමණක්නම් ඒ ගැන වෙනම කතා කරමු. එහෙත් එවැන්නක් මාතෘකාවට ගැනීම අපූරුය.
ඒ එක්කම ඊට කෝචොක් කරන්නටත්,නක්කලේ දමන්නටත් හැකි වන්නේ ප්‍රසව වේදනාවටත්,ඔසප් වේදනාවටත් සිනාසෙන නරුමයෙකුට පමණි.

ඒ කෝචොක් පාර හෝ නක්කල් සිනහව හරිද කියා අම්මාගෙන් හෝ බිරියගෙන් හෝ සොයුරියගෙන් විමසීම වඩාත් මැනවි.!

කාට ඡන්දේ දුන්නත් කමක් නෑ,ඒ කතාවට හිනා වෙන්න එපා..!!!

Colombotelegraph කතෘ උවිදු කුරුකුලසූරියගේ ලිපියක් ඇසුරිනි.