එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා පූජ්‍ය දඹර අමිල හිමියන්ට ප්‍රසිද්ධ විවාදයක් සඳහා ආරාධනා කළේය. ඒ මහ නායක හිමිවරුන් බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් පසෙකලා ක්‍රියා කරන බවට පසුගියදා පූජ්‍ය දඹර අමිල හිමියන් කළ ප්‍රකාශය පිළිබඳවයි.  මන්ත්‍රිවරයා වැඩි දුරටත් සඳහන් කළේ එම ප්‍රසිද්ධ විවාදයට පෙර තමන් අසන ප්‍රශ්න කිහිපයකට උන්වහන්සේ පිළිතුරු ලබාදිය යුතු බවයි.

“මහනායක මූලස්ථානවලින්, බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීම් පසෙකලා ඒකට පස්ස පැත්ත හරවලා තමන් මේ වෙනකොට වළඳපු දේවල් සහ අනාගතයේ වළඳන්න හිතාගෙන ඉන්න දේවල් ඉලක්ක කරගෙන බුදුබණ කණපිටට හරවලා හෘද සාක්ෂියට එරෙහි යම් යම් දේශනා සමාජ ගත කරන්න උත්සාහ කරගෙන තිබෙනවා. අසාර්ථක දේශපාලනඥයන්ගේ එකම අවිය වන්නේ ජාතිවාදය සහ ආගම්වාදයට විතැන් වීමයි.අද මහින්ද රාජපක්ෂගෙන් දකින්නේ ඒකයි. රතන හාමුදුරුවන්ගේ දකින්නේ ඒකයි.විමල්ලා උදය ගම්මන්පිලලාගෙන් දකින්නේ ඒකයි. අස්ගිරියෙන් දකින්නේ ඒකයි. කාදිනල් තුමාගෙනුත් සමහර වෙලාවට දකිනවා. ඒකටත් කුඩුවෙන්න ගහන්න ඕන.” යනුවෙන් පසුගිය දා දඹර අමිල හිමි විසින් ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

දඹර අමිල හිමි විසින් වෛරී සහගත ලෙස මෙවන් ප්‍රකාශයක් කිරීමට ඇති සුදුසුකම කුමක්දැයි එහිදී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රශ්න කර සිටියේය. මේ පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට මාධ්‍ය ඉදිරියට පැමිණෙන ලෙසත් විවාදය මාධ්‍ය ඉදිරියේ පවත්වන්න පෙර ප්‍රශ්න කිහිපයකට උත්තර දිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

“01. නීති විරෝධී ලෙස රටින් පුද්ගලයන් පිටරට යැවීම හා මුදල් වංචා කිරීම සම්බන්ධ චෝදනා මේ වන විට වලින් නිදොස් වෙලාද?

02. සුනාමි අවස්ථාවේදී විජාතිකයෙකුට ආචාර්ය උපාධිය විකිණීම පිළිබඳ පරීක්ෂණයෙන් නිදහස් වුණාද?

03. ලිට්රෝ ගෑස් සමාගම හා එක්ව මූල්‍යමය ප්‍රතිපාදන ලබාගෙන ගෑස්  ප්‍රවර්ධන සමිබන්ධ චෝදනාවන්ගෙන් නිදහස් වෙලාද? දැන් ලිට්රෝ ගෑස් සමාගමේ මූල්‍ය ප්‍රතිපාදන ලබාගන්නේ නැද්ද?

04. දිගුකාලීන බදු පදනම යටතේ පොල් අක්කර 100ක් වත්කම් හා දේපොළ ලබාගෙන තිබෙනවා. රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානයකින් විශාල ධනස්කන්ධයක් ලබාගෙන තිබෙනවාද?”

යන ප්‍රශ්න දඹර අමිල හිමිගෙන් විමසීමට අවශ්‍ය බවත් මේ ප්‍රශ්න මුණගැසී අහන්න බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියේය.තමන්ගේ විශ්වාසය පරිදි උන්වහන්සේට විහාරස්ථානයක් නැති බවත් එම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. නමුත් දඹර අමිල හිමි යනු ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය ධූරයක් දරන,  බුදු දහම වෙනුවෙන් ඉතා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන ඉතා වැදගත් හිමි නමකි. උන්වහන්සේ මෙරට පමණක් නොව පිට රට එඩිම්බරෝ විශ්වවිද්‍යාල වැනි විශ්වවිද්‍යාලවල පවා දේශන පවත්වමින් රාජකීය ආසියාතික සංගමය පවා නියෝජනය කරන මහ පඬිවරයෙකි. එවැනි භික්ෂුවකට බන්දුල ගුණවර්ධන වැනි පුද්ගලයින් මෙවැනි අභියෝග සිදු කිරීම කණගාටුවට කරුණකි. උන්වහන්සේ විසින් ප්‍රකාශිත එකදු ග්‍රන්තයක් හෝ ශාස්ත්‍රීය සංග්‍රහයක් නොමැත්තේ ද බන්දුල ගුණවර්ධන වැනි අදබාලයන් හමුවේ උන්වහන්සේගේ ඥාන මණ්ඩලය වෙහෙසීම පවා ඵලක් නොමැති හෙයිනි.