පසුගිය ජූනි විසිහයවැනි දා මා පාක්‍යසෝති ගැන ලිව්වා. ඔහු අස්ගිරි මහානායක හාමුදුරුවන් අත් අඩංගුවට ගැනීමට ඒ වන විට යෝජනා කර තිබූ බව ඔවුබිම පුවත්පත කියා තිබුණා. අද වන විට පාක්‍යසෝති කියන්නේ තමන් මහානායක හාමුුදුරුවන් අත් අඩංගුවට ගැනීමට යෝජනා නොකළ බවයි. ඒත් අදාළ පුවත්පත කියන්නේ තමන් සතු ව පාක්‍යසෝතිගේ හඬපටය තිබෙන බවයි.

පාක්‍යසෝති නීතිපතිට මහානායක හාමුදුරුවන් අත්අඩංගුවට ගන්න ඕන යැයි නොකියන්න ඇති. තමන්ට එසේ යෝජනා කිරීමට බැරි බවත් ඔහු දන්නවා. එබැවින් ඔහු නීතිපතිට යැවූ ලිපිය කියවුවහොත් අත්අඩංගුවට ගැනීමක් එහි නැති බව පෙනෙනු ඇති. පාක්‍යසෝතිලා වැඩ කරන්නේ පවත්නා රෝම ලන්දේසි නීතියට එකඟ ව. ඔවුන් තමන්ට නීතියෙන් කරගත හැකි දේ නීතියට යෝජනා කළ යුතු දේ ආදිය ගැන හොඳින් දන්නවා.

එහෙත් අදාළ පුවත්පත කියන ආකාරයට  අත්අඩංගුවට ගත යුතු බව  පාක්‍යසෝති   කියා තියෙනවා. පුවත්පත කියන කාරණය නිවැරදි වෙන්න පුළුවන්. පාක්‍යසෝතිලා බලාපොරොත්තු වන්නේ බලාපොරොත්තු වූයේ කුමක් ද යන සමහර විට හඬපටයේ ඇති. ඒ කුමක් වුවත් පාක්‍යසෝතිලාට තියෙන ප්‍රශ්නය තමන්ට ඉංගිරිසින් යටතේ ලැබුණු වරප්‍රසාද නායකත්වය ආදිය ක්‍රමයෙන් 1912 පමණ සිට නැති වී යෑමට පටන් ගැනීම. 

එහෙත් රනිල් යටතේ ඔවුන් තරමක් නැවතත් තමන්ට හිමි ව තිබූ වරප්‍රසාද ආදිය ලබා ගැනීමට සමත් වුණා. ඔවුන් අස්ගිරියේ මහානායක හාමුදුරුවන්ට විරුද්ධ ව ගල් වරුසාවක් එල්ල කිරීමට තරම් නිර්භය වුණේ රනිල් අගමැති බැවින් හා දහනවවැනි සංශෝධනයෙන් පසු අගමැති කියන තරම් නැති වුවත් යම් ප්‍රමාණයකට බලවත් බැවින්. රනිල් බලයට පත් කෙළේ නැති වුවත් (ඔවුන්ට එහෙම කරන්න බැහැ) බලවත් කෙළේ කවුද යන ප්‍රශ්නය මෙහි දී නිතැතින් ම මතු වෙනවා.

රාජ්‍ය නොවන සංවිධාන යනු බටහිර රාජ්‍යවලින් සෘජු ව හෝ වක්‍ර ව හෝ නඩත්තු කෙරෙන ආයතන. හැටේ දශකයේ පමණ මේ ආයතන විශේෂයෙන් ම ආසියාවේ අප්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ ඇරඹුණේ බටහිර මතවාද ඒ ඒ රටවල ප්‍රචලිත කිරීම සඳහා. ලිබරල්වාදයේ ඊනියා දෙවැනි ඉනිමක් නව ලිබරල්වාදයක් ගැන  තොරතෝංචියක් නැතිව කෑගහන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන තමන් ද ඒ දෙවැනි ඉනිමේ පන්දු රකින්නන් (පිතිකරුවන් හෝ පන්දු යවන්නන් හෝ නොව) බව කියන්නේ නැහැ.

ඊනියා නව ලිබරල්වාදයකට විරුද්ධ වෙමින් රාජ්‍ය නොවන යැයි කියා ගන්නා සංවිධාන කරන්නේ එකී ලිබරල්වාදය රැකීමයි. මේ බටහිර ක්‍රිස්තියානි (කතෝලික නොව) නූතනත්වය රැකීමක් මිස අනෙකක් නො වෙයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්ථාපනයට අද විරුද්ධ වන්නේ බටහිර ම නිෂ්පාදිතයක් වූ මාක්ස්වාදය නොව ජාතිකත්වයි. ඒ ජාතිකත්ව විවිධාකාරයෙන් ලෝකයේ ක්‍රියාත්මක වෙනවා.

ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල එක් අරමුණක් වන්නේ ඒ ඒ රටවල ජාතිකත්වවලට පහර ගැසීමයි. ලංකාවේ පාක්‍යසෝතිලා ඇතුළු පිරිස් සිංහල බුද්ධාගමට හා මහානායක හාමුදුරුවරුන්ට විරුද්ධ ව විවිධ ව්‍යාපාර කර ගෙන යන්නේ අපේ රටේ ජතිකත්වයට පහර ගැසීමටයි. ඔවුන්ගේ නැති වූ වරප්‍රසාද ආපසු ලබා ගැනීමටයි. මුහුණක් නැති මුහුණුපොත සකර්බර්ග් හදා දී ඇත්තේත් ප්‍රධාන වශයෙන් ම ඒ ඒ ජාතිකත්වවලට පහර ගැසීමටයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු අපට ඉතා හොඳ අවස්ථාවක් ලැබී තියෙනවා සිංහල බෞද්ධ ධජය වටා සියල්ලන්ට එකතු වීමට. අද කතෝලික දහමට විරුද්ධව විවිධ ක්‍රිස්තියානි ආගමික සංවිධාන හතු පිපෙන්නාක් මෙන් ඇති වෙලා. කතෝලික ක්‍රිස්තියානි අනුපාතය අඩුවේගන යනවා. දෙමළ කතෝලික ජනයා අතරත් ඒ ප්‍රශ්නය තියෙනවා. දෙමළ හින්දු ජනයාටත් ප්‍රශ්නය වෙනත් ආකාරයකින් බලපානවා.

බටහිරයන් මුස්ලිම් අන්තවාදී වහාබ්වාදී අයිසිස් සංවිධානය චීන සේද මාර්ගයට විරුද්ධව ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන. පාස්කු ප්‍රහාරයේ  පැතිකඩක් වූයේ චීන විරෝධයයි. අනෙක් පැතිකඩ කලින් ලියූ ලිපි මාලාවක සඳහන් කර ඇති. බටහිරයන්ට එරෙහි ව සියල්ලන් සිංහල බෞද්ධ ධජය යටතේ සංවිධානය කිරීමට මෙයට වඩා අනගි අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. අප මේ අවස්ථාව බටහිරයන්ට විරුද්ධ ව යොදා ගන්න ඕන.

මෙරට බටහිරයන්ගේ ප්‍රධාන නියෝජිතයා රනිල්, ඔහු නියෝජිතයකු නොවෙයි, ඔහු ඔවුන්ගේ ම කෙනෙක්. ඊළඟට ඉන්නේ සුමන්තිරන්. දහනවය ගෙනාවේ රනිල් ශක්තිමත් කරන්න. අද රනිල් සෝෆා ආදී ගිවිසුම් මගින් රට එක්සත් රාජ්‍යයට පාවා දෙන්න සූදානම් වෙනවා. මේ ගිවිසුම් මගින් ඔවුන්ගේ හමුදාවලට විසා නැතිව පැමිණීමට බලපත්‍ර නැතිව අවි ආයුධ යෙදා ගැනීමට අවසර ලැබෙනවා. කොටින් ම මේ රට ඇමරිකන් කොලනියක් වෙනවා.

රනිල් බලයට පත් කිරීමට දරදිය ඇද්ද රතන හිමියන් යුග පෙරළිකාරයන් සාධාරණ සමාජ කාරයන් අද රනිල් විවේචනය කරල වීරයන් වෙන්න හදනවා. ඔවුන් තමයි දහනවයට පක්‍ෂ වුණෙත්. ඔක්තෝම්බර් විසි හය ආණ්ඩුව කඩා බිඳ දැම්මෙත්. ඒ සියල්ලට ම ජ වි පෙ හවුල්. ජ වි පෙ නැවතත් ජනතාව රවටන්න හදනවා. ඔවුන් අද ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංගයක් ගෙනත් එය පරදින බව හොඳින් ම දැන ගෙන. එ ජා ප හකීම් බද්‍යුද්දීන් එකතු කළා ම බහුතරයක් ඉන්නවා. ජ වි පෙ රනිල්දාසයන් රනිල්ට විරුද්ධ ව සෝෆා ගැන කතා කරන්නෙ අශ්වයා ගියාට පසු නොවෙයි අශ්වයා ඇරලා  ඉස්තාලය වහන්න. 

ඒ කුමක් වුවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට විරුද්ධ ව අපි එකතු වෙන්න ඕන. මේ අපට ලැබෙන හොඳ ම අවස්ථාව මෙන් ම අවසාන අවස්ථාව.

උපුටා ගැනීම – කාලය බ්ලෝග් අඩවිය