අනවශ්‍ය ආකාරයෙන් දේශපාලනික ප්‍රකාශයන් හා මැදිහත් වීම් සිදු කිරීම හේතුවෙන් සංඝ සමාජය දිනෙන් දින ජනතා අප්‍රසාදයට පත් වී ඇති බව පෙනී යන කාරණයකි. ඇත්තෙන්ම මේ හේතුවෙන් භික්ෂූන් වහන්සේලාට මේ පිළිබඳ මේ වන විට දැඩි විවේචන එල්ල වෙමින් පවති. කොහොම වුණත් භික්ෂූන්ට දේශපාලනය අකැප ද? යන්න ඇසිය යුතු ප්‍රශ්නයකි.   

බුදුන් වහන්සේ තම බුද්ධ ජීවිතයේ අවසාන කාලයේ දී සප්ත අපරිහානිය ධර්ම දේශණාව කරනු ලැබුවා . මේ පිළිබඳ දේශණාව සඳහන් වන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී ය . අජාසත්ත රජතුමා අදහස් කරා වජ්ජි දේශය ආක්‍රමණය කිරීමට  පෙර ඒ ගැන බුදුන් වහන්සේගෙන් කරුණු විමසුව විට බුදුන් වහන්සේ මෙම  සප්ත අපරිහානිය ධර්ම දේශණාව කරනු ලැබුවා .

වජ්ජි රජවරු මේ සප්ත අපරිහාණිය ධර්ම අනුව තම රට පාලනය කරනු ලබනවනම් ඔවුන්ව ආක්‍රමනය කරනු නොහැකි යැයි බුදුන් වහන්සේ දේශණා කරනු ලැබුවා. සප්ත අපරිහානිය ධර්මය පිළිබඳ දේශනා කරමින් බුදුන් වහන්සේ දේශපානය පිළිබඳ අවදාරණය කොට ඇත. එහිදී භික්ෂුවගේ කාර්ය භාරය ලෙස රජුන්ට රාජ්‍ය නිවැරදිව සිදු කර ගෙන යාමට අවශ්‍ය උපදේශනය සැලසීම පිළිබඳව සඳහන් ‌වෙනවා.

ඒ අනුව බලන කළ භික්ෂුවට දේශපාලනය අකපැයි බුදු දහමේ කොතැනක හෝ සඳහන් වී නොමැත. නමුත් භික්ෂුවගේ කාර්ය භාරය වන්නේ රාජ්‍ය කිරීම නොව රාජ්‍ය කරගෙන යෑමට අවශ්‍ය උපදේශනය හා මාර්ග  උපදේශනය සැලසීමයි. දේවානම් පියතිස්ස රජු සමයේ ලංකාවට බුදු දහම පැමිණීමත් සමඟම මෙරට පාලකයන්ට ද බුදු දහමේ ආභාෂය ලැබිණ. ඒ අනුව භික්ෂූන් වහන්සේලාගේ උපදේශකත්වයෙන් මෙරට පාලකයන් රාජ්‍ය පාලනය සිදු කළ ආකාරය මහා වංශය, තූපවංශය ආදි ‌‌‌‌ෙඑතිහාසික ලේඛනවල පවා මේ බව සඳහන් වනවා.   

යටත් විජිත සමයේ වන විට දී භික්ෂුවගේ කාර්ය භාරය මීට වඩා පුළුල් විය. උපදේශනයට එහා ගිය මැදිහත් වීමක් භික්ෂුවට කරන්නට සිදු විය. ඒ රට, ආගම විනාශ වීමට විරුද්ධව මිස රාජ්‍ය පාලනයට අත ගැසීමක් හෝ දේශපාලනික වාසි, අරමුණක්  ඒ තුළ නොවීය. පසු කාලීනව ඩොනමෝර් කොමිසම මඟින් සර්වජන ජන්ද බලය හිමිවීමත් සමඟ ලංකාවේ දේශපාලන පක්ෂ මතුවීම ආරම්භ විය.

මේ කාලයේ මතු වූ වාමාංශික නැබුරුව කෙරෙහි භික්ෂුන් වහන්සේලා එකට එක් විය. උඩුකැන්දවල සිරි සරණංකර හිමි වැනි අය දේශපාලනයට සම්බන්ධ වී කටයුතු කළ නමුත් සෘජුව ජන්ද ඉල්ලීම සිදු නොකරන ලදි. නමුත්  දක්ෂිණාංශ ව්‍යාපරය දේශපාලකයින් මෙය සෘජුව විවේචනය කරන ලදි. ඩඩ්ලි සේනානායක, ඩී. එස් සේනානායක වැනි පුද්ගලයින් භික්ෂුන් වහන්සේලා දේශපාලනයට සම්බන්ධ වීම පිළිබඳ විවේචන එල්ල කරන ලදි.

මෙයට පිළිතුරු වශයෙන් වල්පොල රාහුළ හිමි විසින් භික්ෂුවකගේ කාර්ය භාරය ලෙස ප්‍රකාශයක් පවා ඉදිරිපත් කරන ලදි. එමෙන්ම විද්‍යාලංකාර පිරිවනෙහි භික්ෂුන් වහන්සේලා විසින් ” විද්‍යාලංකාර ප්‍රකාශය ” ලෙස නිකුත් කරමින් යම් යම් කුඩා ධර්ම ‌කොටස් සමාජ ක්‍රමය විකාශනය සමඟ යාවත්කාලීන වන ආකාරය පිළිබඳව පහදා දී තිබෙනවා. 1956 දී ක්‍රියාත්මක වන සඝ, වෙද , ගුරු , ගොවි , කම්කරු යන පංච මහා බල වේග සමඟ භික්ෂූව ක්‍රියාත්මක වූයේ ද රට, ජාතිය, ආගම වෙනුවෙන් වූ භික්ෂුවකගේ උතුම් කාර්යභාරය ඉටු කිරීම වෙනුවෙනි.

ඉන් පසු එක්දාස් නවසිය අනූ ගණන්වල ගාල්ල දිස්ත්‍රිකයෙන් භික්ෂු පළාත් සභා මන්ත්‍රීවර‌ෙයක්  පතත්වන අතර 2000 වර්ෂයේ දි භික්ෂු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පත් වීමත් සමඟ මෙරට භික්ෂුව සෘජුව දේශපාලනයට සම්බන්ධ වනවා. 2003 හෙළ උරුමය ආරම්භයත් සමඟම මෙරට භික්ෂු දේශපාලනය සෘජු ලෙසම සම්බන්ධ විය. ඉන් අනතුරුව බිහිවූයේ ජනප්‍රිය භික්ෂු දේශපාලනයයි. ඉන්පසු බුදු දහම දේශපාලනය තුළ වාණිජකරණයට ලක් කළා යැයි කිවුවොත් නිවැරදිය.  

හෙළ උරුමය මුලින්ම කළේ අපවත් වූ සෝභිත හිමිට මුවා වී ජන්ද කඩා ගැනීමය. පන්සිල් ගෙන ආරම්භ කළ බොදු මහා සමුළු දේශපාලන රැස්වීම් පැවැත් වූයේ ධර්ම රාජ්‍යයක් බිහි කිරීමටය. නමුත් එය ක්‍රමයෙන් භික්ෂු දේශපාලනයේ අරමුණු වෙනත් දිසාවකට යොමු විය. එය පක්ෂ දේශපාලනය තුළ වාණිජ කරණය හා වෙනත් තනතුරු හා වරප්‍රසාද මත විපරිත විය.

එස් . ජේ. තම්බයියා (S. J tambhaiya) විසින් රචිත Buddhism Betrayed වැනි තහනම් වූ පොත් පවා නිර්මාණය වන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසිණි. අද වන විට ජාතිවාදී ප්‍රවේශයෙන්, ආගම්වාදී හෝ වෙන යම් ආකාරයකින් භික්ෂූන් ‌ජනප්‍රිය දේශපාලනයේ දී සිය පටු අරමුණු වෙනුවෙන් පෙණි සිටී. අස්ගිරි පාර්ශවය ඇතුළු අනෙකුත් මහා සංඝරත්නය සිය උත්තරීතර භික්ෂු බලය ජනප්‍රිය දේශපාලනය හමුවේ දිය කර ගනිමින් සිටියි.

පාස්කු ප්‍රහාරය සිදු වූ විට කාදිනල් හිමිපානන් ක්‍රියා කළ ආකාරයට වඩා යමක් අප මහා සංඝරත්නයෙන් බලාපොරොත්තු වූයේ උතුම් බුදු දහමේ හරය උන්වහන්සේලාගෙන් නියෝජනය විය යුතුය යන්න අදහස ඇතිවය. නමුත් අඩුම තරමින් ඒ අවස්ථාවේ දී වත් පක්ෂ ජනප්‍රිය දේශපාලනය වෙනුවෙන් කඩේ යෑම පසකලා භික්ෂුවකගේ නියම උතුම් භූමිකාව ඉස්මතු නොවීම කණගාටුවකි.