පසුගිය පාස්කු ඉරිදින සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා කරුණු වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අතිශයින්ම මාධ්‍ය සන්දර්ශනයක් බව බුද්ධිමත් ජනතාවට තේරී හමාරය. නියෝජ්‍ය කතානායක ජේ.එම් ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම විශේෂ කාරක සභාවේ හිටපු අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය රවී කරුණානායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මහාචාර්ය ආශු මාරසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, එම් ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරු සාමාජිකත්වය දරයි. මෙම සභාව නියෝජනය කරන සාමාජිකයන්ගෙන් ම අපට වැටහෙන කාරනය වන්නේ මෙය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන උවමණාවන් මත හැසිරවෙන ක්‍රියාවලියක් බවය. ඇත්තෙන්ම මෙම සභාව පැවැත්වීමෙන් ඇති ඵලය කුමක් ද?

 තේරීම් කාරක සභාව වෙත පුද්ගලයින් ගෙන්වා සාක්ෂි විමසීමේ බලය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග (108) ”පනත් කෙටුම්පතක් හෝ යම් කාරණයක් යොමු කරනු ලැබූ විශේෂ කාරක සභාවක් විසින් එම පනත් කෙටුම්පත හෝ යොමුගත කාරණය පිළිබඳ සාක්ෂි විභාග කිරීම පිණිස පාර්ලිමේන්තුව විසින් එම කාරක සභාවට තැනැත්තන් කැඳවීමට සහ ලිපිලේඛන සහ වාර්තා ගෙන්වා ගනු ලැබීමට යෝජනා සම්මතයක් මගින් බලය දෙනු ලැබිය හැකි අතර, එවැනි බලතල පවරනු ලැබ ඇති යම් කාරක සභාවකට එම කාරක සභාව ඉදිරියේ ලබා ගන්නා ලද සාක්ෂිවල කාර්යය සටහන් ද සමඟ කාරක සභාවේ මතයන් සහ නිරීක්ෂණ පාර්ලිමේන්තුවට වාර්තා  කිරීමට ද පාර්ලිමේන්තුවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීම සුදුසු යැයි සලකනු ලැබිය හැකි යම් කාරණයක් සම්බන්ධ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීමට ද අවසර තිබිය යුත්තේ ය.” ප්‍රකාරව බලය ඇත.

එසේම පාර්ලිමේන්තුව කල් තබා හෝ වාරඅවසාන කකර ඇති අවස්ථාවක වුවද විශේෂ කාරක සභාවකට සිය විමර්ශන අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බව ස්ථාවර නියෝග(109) ප්‍රකාරව බලය ඇත.

කෙසේ වෙතත් අදාළ විශේෂ තේරීම් කාරක සභාවට කැඳවනු ලබන පුද්ගලයෙකු තේරීම් කාරක සභාවට නොපැමිණියහොත් ඔහුට දඬුවම් පැමිණවීමේ බලයක් විශේෂ කාරක සභාව වෙත ලබා දී නැත. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ හෝ එවන් දඬුවම් පැමිණවීමේ බලයක් අදාළ විශේෂ කාරක සභාව වෙත ලබා දී නැත.

එමෙන්ම කාරය සභාව වෙත සාක්ෂි සැපයීම සඳහා කැඳවනු ලබන ආරක්ෂක අංශ නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන්ගෙන් බුද්ධි තොරතුරු විමසීම හා එමඟින් බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු හෙළිවීමත් ඒ ඔස්සේ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් ඇති වන බවත් පැවසේ.පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් සජීවීව මාධ්‍යයට විවර කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එමඟින් කාරක සභාව තුළින් හෙළි කරගනු ලබන තොරතුරු ප්‍රසිද්ධ වීම සම්බන්ධයෙන් ගැටළු ඇතිවන්නට විය.

එමෙන්ම පසුගිය පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ ප්‍රධාන නඩු 5කට අධික සංඛාවක් විභාග වෙමින් පවිතින බැවින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඔස්සේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවලට හා සාක්ෂි නිරාවරණය  වීම හේතුවෙන් එය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා කතානායක කරූ ජයසූරිය මහතා වෙත දැනුම් දී තිබේ.

මේ අතර පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබාදී ඇති අතර ජනාධිපතිවරයා විසින් එම වාර්තාව වැඩිදුර කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කෙරේ.

එසේම පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පත් කළ විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වන අතර කතානායකවරයා විසින් අදාළ වාර්තාව ක්‍රියාවට නැංවීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකළ යුතු වේ.එසේ නීතිපතිවරයා වෙත යොමු කරනු ලබන විශේෂ කාරක සභා වාර්තාව ක්‍රියාවට නැංවෙනුයේ නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවූ පසුව ය. එසේ නම් තව දුරටත් මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පවත්වන්නේ කුමන අරමුණකින්ද යන්න අපට පැහැදිලිය. හමදාමත් ජනතාව මුලා කර චන්දය ලබා ලන්නට කටයුතු කරන වික්‍රමසිංහ ආණ්ඩුව මේ සිදු කරනු ලබන්නේ මාධ්‍ය සන්දර්ශනයක් නොවේ ද?