මතින් නිදහස් ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා මේ වන විට ජනාධිපති උපදේශකත්වයෙන් යුතුව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකාය කටයුතු කරමින් සිටියි. එහි ප්‍රතිඵලයක් ලෙස විශාල මත් ද්‍රව්‍ය ප්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. මෙරට පිරිමි ජනගහනයෙන් 35% පමණ ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අතර ඉන්  65000කට අධික පිරිසක් හොරොයින් භාවිතයට හුරුවී සිටිති. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වාර්ෂික දත්තවලට අනුව 2015 සිට 2018 දක්වා විවිධ මත්ද්‍රව්‍ය වර්ග අනුව අත්අඩංගුවට ගත් පුද්ගල සංඛ්‍යාව  විශ්ලේෂණය කිරීමේ දී 2015 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේ දී හෙරොයින් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 54% කින්ද ගංජා සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 5%කින්ද වැඩි වී ඇත. නමුත් මෙම මත්ද්‍රව්‍ය වලට වඩා විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලංකාව තුල ඇත. ඒවා ඉතා විෂ අධික මත්ද්‍රව්‍ය වේ. එවැනි මත් ද්‍රව්‍ය වර්ග 648ක් පමණ රට තුළ ඇති බව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකාය පෙන්වා දී තිබෙනවා. මේ අතර පාසල් ළමුන් විශාල වශයෙන් මත් ද්‍රව්‍ය වෙත නැඹුරු වී ඇති බවද දක්නට ලැබේ. 

කෙසේ වෙතත් මේ තරම් දුරට මත් ද්‍රව්‍ය කෙරෙහි පුද්ගලයන් නැඹුරු වන්නේ ඇයි? දැයි සොයා බැලීම අවශ්‍යම වනවා. එසේ නැතහොත් මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමම පමණක් මත් ද්‍රව්‍ය නිවාරණය සඳහා  ප්‍රමාණවත් නොවේ. මත් ද්‍රව්‍ය සඳහා පුද්ගලයන් යොමු වීමට හේතුවන සමාජීය, ආර්ථික සහ දේශපාලනික කරුණු විමසා බැලීම කළ යුත්තකි. එමඟින් මෙම ගැටළුවට පාදක වන කරුණු හදුනා ගනිම්න් පිළියම් සෙවීම ප්‍රායෝගික වෙයි. ලංකාව තුළ මත් ද්‍රව්‍ය කෙරෙහි නැඹුරු වූවන්ගේ ආකර ප්‍රධාන වශයෙන් දෙකක් හදුනා ගත හැකිය. එනම් පහළ පංතිය (Lower class) සහ මධ්‍යම පංතිය  ( Middle class) යන කොටස් දෙකයි. මෙම කොටස් දෙකම මත් ද්‍රව්‍ය සඳහා යොමු වී ඇති අතර එය සිදු වී ඇති ආකර දෙයාකරයකි. ඒ සඳහා බලපාන ලද සමාජීය , ආර්ථික, දේශපාලන වපසරිය ද අන්ත දෙකකි.

ඇත්තෙන්ම පහළ පංතිය (Lower class) නිරත්තරයෙන් ආර්ථික දිළිදු කම්න් පීඩා විඳිති. එම තත්ත්වයෙන් අත් මිදීමට ඔවුන් විවිධ දේ සිදු කරති. කම්කරුවන්, කුලීකරුවන් හෝ වෙනත් ශ්‍රමිකයින් ලෙස කටයුතු කරන ඔවුන්ගේ රැකියා තුළ ද ඔවුන් සිටින්නේ දැඩි පීඩනයකය. ඇතැම් විට ඒ පීඩනය මුදා හැරීමට ඔවුන්ට විනෝදාංශ හෝ තෘප්තිමත් විමට විකල්ප මාර්ග නොමැත්තේය. ඒ සියලු දෙයින් අත් මිදීමට ඇති එකම විකල්ප මාර්ගය වන්නේ මත් ද්‍රව්‍ය යැයි ඔවුන් තේරීමක් සිදු කරයි. උදාහරණ ලෙස මෙරට පෞද්ගලික බස් රථ රියදුරන් සඳහා දාවන කාලය සඳහා නිසි කාලසටහනක් හෝ වෙනයම් නියමනයන් නිසි ආකාරව ක්‍රියාත්මක වන්නේ නැත. ඇතැම් රිදුරන් මුළු රාත්‍රීකාලයම නිදි වර්ජිතව රිය දාවනයේ යෙදෙති. ඔවන්ට විවේකය සඳහා ක්‍රමවේදයක් සකස් කොට නොමැත. මේ හේතුවෙන් නිදි වර්ජිතව සිටීමට ඇතැම් මත් ද්‍රව්‍ය භාවිතයට ගැනීමට ඔවුන් පෙළඹෙති. මේ ආකරයට ඇතැම් රැකියාවල ස්වභායවය මත ලංකාවේ විශාල පිරිසක් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටිති.

ඇතැම් විට මෙම සමාජ පංතියේ ජීවත්වන පාසල් ළමුන් පාසලේදී විවිධ මත් පෙති හා මත් වර්ග භාවිත කරති. විශේෂයෙන් වයඹ හා උතුරු මැද පලාත්වල පාසල් ළමුන් මේ සඳහා වැඩි නැඹුරුවක් පවතින බවක් දක ගත හැකිය. මෙම දරුවන්ගේ පවුල් පසුබිම ගැන විමසා බැලූ කළ බොහෝ දරුවන්ගේ මව්වරුන් විදෙස් ගතව ඇත. පියාද මත් ද්‍රව්‍යට ඇබ්බැහි වී ඇති අතර දෙමාපිය රැකවරණයෙන් මිදුණු අහිංසක දරුවන් කාලය ගත කිරීමට පාසලට පැමිණෙන අතර අධ්‍යපනයෙන් දුරස් වී මත් වී ඔහේ දවස ගෙවා දැමීමට පුරුදු වී ඇත.  මෙමඟින් ඇති වන සමාජීය ගැටලු බොහෝමයකි. තවද ගමෙන් නගරයට පැමිණි බොහෝ කාන්තා, පිරිමි ග්‍රමික දෙපාර්ශවයම මෙම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇත. පහළ පංතිය(Lower class) පමණක් නොවේ. මධ්‍යම පංතිය  ( Middle class) පිරිසෙන් වැඩි ප්‍රමාණයක් ද විවධ වු මත් ද්‍රව්‍ය කෙරෙහි  ඇබ්බැහි වී ඇත. නමුත් ඔවුන් තුළ පවතින ගැටලුව මීට හාත්පසින්ම වෙනස්ය.

මිල මුදල් අතින් කොතරම් පොහොසත් වුව ද පවතින සමාජ රාටාව තුළ ඔවුන් පසු වන්නේ විශාල අතෘප්තියකිනි. මෙම අතෘප්තිකර ආශාවන් සමනය කර ගැනීමට ඔවුන්ට ද විසදුම වී ඇත්තේ මත්ද්‍රව්‍යය මතය. මුදල් අංශයේ දියුණුව තිබුණ ද තරඟකාරී ජීවන රටාව තුළ පවුල යන සංකල්පය ඔවුනට මඟහැරී ඇත. එකිනෙකා හුදකලා වු සමාජයක හිරවුණ මධ්‍යම පාංතිනක මිනිසා සිය සතුට මත්ද්‍රව්‍ය තුළින් සපුරා ගැනීමට උත්සාහ දරණු ලබයි. මෙම පවුල්වලින් සමාජයට එන දරුවන් තුළ ද ඇත්තේ එම පිඩාකාරී බවය. එය මුදා හැරීමේ එකම මාර්ගය ලෙස ඔවුන්ගේ තේරීම ව්නනේ ද සමාජශාල (clubs) තුළ මත් වි නටමින් කාලය ගත කිරීමය.

‌              මේ කාරණාව ලෝකයේ ද මේ හා සමාන වන අතර මත් ද්‍රව්‍ය සඳහා යොමුවන කණ්ඩායම් අතර කැපීපෙනෙන කණ්ඩායමක් වන්නේ කලා කරුවන්ය. ඇතැම් කලාකරුවන් අධික ලෙස මත් ද්‍රව්‍ය සඳහා යොමු වී ඇති අතර ඇතමුන් සිය ජීවිතයෙන් පවා සමුගෙන තිබෙවා. උදාහරණයක් ලෙස ඇමරිකානු සුප්‍රසිද්ධ ගායිකාවක හා නිළියක වූ විට්නි හූස්ටන් ජනප්‍රිය පොප් ගායක මයිකල් ජැක්සන්, ප්‍රින්ස් , චෙස්ටර් ‌බෙනින්ටන් වැනි කලා කරුවන්ගේ මරණය පිළිබඳව ඔබට මතක නම් මෙම කාරණය වැට‌හෙනු ඇත. මේ ආකරයෙන් විමසන විට සමාජය තුළ පවතින් විශාල හිඩසක් නැතිනම් රික්තකයක් පවතින බව පෙනේ. මේ සඳහා විවිධ වූ සමාජ,ආර්ථක, දේශපාලනික කාරණා පවතින බවත් ඒ සඳහා නිවැරදි වූ පිළිතුරු නොයෙසේ නම් පිළියම් සෙවීම අත්‍යාවශමය. එසේ නොවුණහෝත් මතින් නිදහස් රටක් ! යනු සිහිනයක් ම පමණකි.