“ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය” මෙහි සමාජවාදය යන්න ආරම්භයේ සිටම තිබුණේ නැත. අවම හෝ වශයෙන් ඉතිරි වුණානම්  ඉතිරි වුණේ ප්‍රජාතන්ත්‍රවාදය පමණයි. ඒ පිළිබඳව තිබූ අපේක්ෂාවත් සුන්ව ඒකාධිපතිත්වයක් මීට වසර පහකට පෙර දී දශකයක් වැනි විශාල කාලයක් තුළ දළුලා වැඩමින් ජනතාව පිඩනයට පත් කළේය. නමුත් 2015 දී යහපාලන රජය බලයට පත් වීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ සිහිනය යතාර්ථයක් වෙමින් යම් සාධනීය මට්ටමකට පැමිණියේය. ඒ අනුව එවක විධායකය යටතේ පැවති අසීමිත බලය පාර්ලිමේන්තුවට ලැබුණේය. එහිදී තනි ඒකාධිපතියෙකුට රටට සමාජයට කල හැකිව තිබු අයහපතට ඉඩ නොලැබුණේය.

යහපාලන රජය පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබූ 19 වන ව්‍යවස්ථා සංශෝදනය තුළ අන්තර්ගත වූ සුවිශේෂීම කරුණක් වුයේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමයි. එහිදී ව්‍යවස්ථාදායක සභාව බලාත්මක වූ අතර රජයේ කටයුතු වලට සිවිල් ජනතාවට ද ප්‍රවේශ වීමේ හැකියාව ලැබිණි. ස්වාධීන කොමිෂන් සභා ලෙස පොලිස් කොමිෂම, මානව හිමිකම් කොමිෂම, ස්වාධීන මැතිවරණ කොමිෂම, රාජ්‍ය සේවා කොමිෂම ඇතුළුව පිහිට වූ කොමිෂන් සභා වලට ජනාධිපතිවරයාටවත් අනවශ්‍ය ඇත පෙවීම් කළ නොහැකි අන්දමේ විධිමත්භාවයක් ලැබුණේය. එය රටේ ජනතාවට ප්‍රජාතන්තරවාදී අක්ෂයෙන් ලැබුණු ජයකි. නමුත් මෙවර ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයේ 9 වන පිටුවෙන් නැවත වරක් ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ සිහිනය ලංකාවෙන් අතු ගා දමන්නට තත්වය ඇති කරනු පෙනේ ඒ අනුව ඔහු එහිදී ගෙනෙන 19 වන ව්‍යවස්ථා සංශෝදනය ඉවත් කර නව ව්‍යවස්ථා සංශෝදනයක් ගෙන ඒමක් ගැන කියවෙයි.

එහිදී රට ප්‍රජාතන්තරවාදය පැත්තෙන් ප්‍රගතිශීලි පියවරක් ඉදිරියට තබා තිබෙන අවස්තාවක නැවතත් මිට කලකට පෙර රට තිබු තැනට ගෙන ඒමට තැත් කිරීම මහා ව්‍යවුලකි. ඔහු තම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියන අන්දමට මේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට තමා වරමක් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නොපමාව පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට අවස්තාව දෙන ලෙස ඉල්ලමිනි. එය 2015 දී ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂාවෙන් වත්මන් රජය බලයට ගෙනා ජනතාවට කරන පිටුපෑමකි. 

එලෙසම සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 9 වන පිටුවෙන් කියන ඊළඟ කාරණාව නම් මේ මොහොතේ පුනුරුත්තාපනය වෙමින් සිටින ත්‍රස්තවාදීන් මෙන්ම චෝදනා ලැබ සිටින හමුදා නිලධාරින් ක්‍රමානුකුලව පුනුරුත්තාපනය කර නිදහස් කිරීමට කටයුතු කරන බව කියයි. මෙහිදී ගැටලුව නම් කවුරුන්ද මේ කියන හමුධා නිලධාරින් යන්නය. මේ අන් කවුරුත් නොව එකළ යුධ සමයේ දී මානව හිමිකම් කඩ වන අන්දමෙන් කටයුතු කළ තම හිතවාදීන් නිදහස් කර ගැනීමකි. ඔහු මේ වගන්තිය සිය ප්‍රතිපත්ති අතරට ගෙනෙන්නේ ම ඒ නිසාය. එයද අසාධාරණයකි.

මේ ආදී ලෙස සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ 9 වන පිටුව අපට කියා සිටින්නේ නැවත වතාවක් මෙයන්නේ ඒකාධිපති ආඥාදායක මිලිටරි පාලනයකට රට විවර කරන බවය. සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේදී ගෝඨාභය දැන හෝ නොදැන මෙය 9 වන පිටුවට ඇතුලත් කිරීමෙන් අපට අඟවන්නේ අප අසා ඇති ලෙස 9 නපුරු බව ද? එය තීරණය කිරීම ඔබ සතුය.