කාන්තා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් මේ දිනවල මැතිවරණ වේදිකාවන් තුළ උණුසුම් කතා මැවෙද්දී, මේ තාක් කාලයක් තුළ කාන්තා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු අයෙකු ප්‍රසිද්ධ වේදිකාවක ප්‍රකාශයක් හෝ කර තිබුණේ නැත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ වේදිකාව තුළ කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළේය. එම ප්‍රකාශය ඇතැමුන් සමච්චලයට ලක් කරන්නට පටන් ගත්තේ ස්වීඩනය වැනි ඉතා දියුණු රටක කාන්තා සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබා දෙන පසුබිමකය. එසේම ලෝකයේ දියුණු රටවල දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනවලද වැඩියෙන් කතාකරන පසුබිමකය. කාන්තාවක් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වේදිකාවක් තුළ ප්‍රකාශයක් සිදු කිරීම අපහසු දෙයකි. එලෙස ප්‍රකාශයක් සිදු කළ ද ඉන් එල්ල වන විරෝධතා අධිකය.

කෙසේ වුවත් කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීම සම්බන්ධයෙන් වන ප්‍රකාශය සමච්චලයට ලක් කළද, අප එය සමච්චලයට ලක් කරන්නේ මන්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු වේ. නිවසක වැඩි වියට පත් වූ ගැහැණු දරුවෙකු කාන්තාවකට සිය අර්තව සමයේ දී අවශ්‍ය සනීපාරක්ෂක තුවා ලබා ගැනීම සඳහා සිය සැමියාට, පියාට, සහෝදරයාට පවසන්නේ නැත. මන්ද ඇතැම් පිරිමින් එය පිළිකුලකට ලක් කරන බැවිනි. විවාහ වී වසර 20ක් ගත වූ කාන්තාවකට වුවද සිය අර්තව සමයේ දී තමාට ඇවැසි දේ පිළිබඳ සිය සැමියාට පැවසිය නොහැකිය. අතැම් විට එම දිනවල කිසිදු වැඩක් හෝ සිදු කිරීමට නොහැකිව ඇය නිවස තුළට වී සිටිනවා විය හැකිය. තවත් විටෙක ඇයට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා මුදල් නොමැති විය හැකිය. එසේම පිරිමි පුද්ගලයින් ලෙස සමාජයක් ලෙස අප ලැජ්ජා විය යුතුය. කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීම සම්බන්ධයෙන් වන ප්‍රකාශය සමච්චලයට ලක් කිරීම දේශපාලනය පසෙක තබා කාන්තාවක් සමච්චලයට ලක් කිරීම වැනිය.


මෙරට මුළු ජනගහනයෙන් සියයට 52 ක් පමණ වන කාන්තා ප්‍රතිශතයෙන් සියයට 80ක් පමණ ආර්තව සමයෙන් පීඩාවට පත් වේ. එම පිරිස අතුරින් නිදන්ගත දුප්පත්කම, එහෙම නැත්නම් මූලික අත්‍යාවශ්‍ය දේවල් නොමැතිව අත්තකිලමථයෙන් ජීවිතය ගතකරන අය ගැනවත් හරි හමන් සාකාච්ඡාවක් මේ මැතිවරණයේදී මතු කර ගැනීමට ඡන්දදායකයින්ට, ඒ සඳහා වැඩකරන රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජවලට නොහැකිවී ඇත.

එසේම ලංකාවේ වැඩිවියට පත් පාසල් දැරියන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මාසික ශුද්ධිය සිදුවන කාලය ඇතුළත පාසල් යන්නේ නැහැ කියා කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය.

බ්‍රිතාන්‍යයේ ද සෑම කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට අපහසු බව කියන්නේ බ්‍රිතාන්‍ය සඟරාවක්.

ඇතැම් කාන්තාවන්ට සිය අර්තව සමයේදී දැඩි වේදනාවක් යටි බඩෙනුත් හිසෙනුත් පිටවෙද්දී එය උහුලාගෙන ජීවිත අරගලයේ යෙදෙන බව කියන්නේ ආර්ථවය සිදුවන කාන්තාවන්.

ලංකාවේ අති බහුතර ග්‍රාමීය කාන්තා ප්‍රජාව ආර්ථික දරිද්‍රතාව නිසා පමණක් තවමත් සිය ඔසප් දිනවලදී කිසිදු සනීපාරක්ෂාවකින් තොර රෙදි කැබලි පාවිච්චි කරමින් සිටින බව දන්නේ කවුද?. ග්‍රාමීය දැරියන්ගෙන් කී දෙනකු තම ආර්තව සමය තුළ පාසලට පැමිණෙන්නේදැයි සොයා බලා ඇති කෙනෙක් ඉන්නවද?

කාන්තාවකගේ ජීවිතයේ වසර 30ක් පමණ ආර්තවය සිදු වෙයි නම් ඇය විසින් වසරකට සනීපාරක්ෂක තුවා 240ක් භාවිතා කළ යුතුයි.ජීවිතකාලය පුරා සනීපාරක්ෂක තුවා 7,200ක් පමණ පාවිච්චි කළ යුතුයි.
ගැහැනියක් මවක් වීමට විඳින වේදනාව දරනවා තියා හිතන්නටවත් පිරිමියෙකුට බැරිය. ආර්ථව වේදනාව දෙවැනි වන්නේ ඊට පමණක් යැයි ඇතැමුන් කියයි.මා‍‍සෙකට වතාවක් ජීවිතයේ අඩකටත් වැඩි කළක් එවන් වේදනාවක්…!

‍දේශපාලනය පසෙකින් තබන්න.සිනාසීමටත් විවේදනයටත් ඇතිපදම් කරුනු කාරණා තිබියදී ඔබේ සංවේදී ප්‍රශ්නයට සිනා නොවන්න. මහා තාක්ෂනික විප්ලව ගැන අටෝරාසියක් මහප්‍රාණ කියවන අතර දූවිලිමත ඇදෙන ප්‍රශ්නයත් විමසන්න. එහෙත් කාත් කවුරුවත් මායාම් නොකළ ප්‍රශ්නයක් විමසුමට ලක් කළ ප්‍රවණතාවය අගයන්න.

සජිත් ‘සියලු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන බවත් ඔසප් නිවාඩුවක් දෙන බවත්‘ කියා ඇතිනම් ඊට සිනා සෙන්නේ කොහොමද,මොන හිතකින්ද?
එය දේශපාලන පොරොන්දුවක් පමණක්නම් ඒ ගැන වෙනම කතා කරමු. එහෙත් එවැන්නක් මාතෘකාවට ගැනීම අපූරුය.
ඒ එක්කම ඊට කෝචොක් කරන්නටත්,නක්කලේ දමන්නටත් හැකි වන්නේ ප්‍රසව වේදනාවටත්,ඔසප් වේදනාවටත් සිනාසෙන නරුමයෙකුට පමණි.