පසුගිය පාස්කු ඉරිදින සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා කරුණු වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් හට ගෙන ඇත. විශේෂ කාරය සභාව වෙත සාක්ෂි සැපයීම සඳහා කැඳවනු ලබන ආරක්ෂක අංශ නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන්ගෙන් බුද්ධි තොරතුරු විමසීම හා එමඟින් බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු හෙළිවීමත් ඒ ඔස්සේ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් ඇති වන බවත් පැවසේ.

නියෝජ්‍ය කතානායක ජේ.එම් ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම විශේෂ කාරක සභාවේ හිටපු අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය රවී කරුණානායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මහාචාර්ය ආශු මාරසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, එම් ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරු සාමාජිකත්වය දරයි.

පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් සජීවීව මාධ්‍යයට විවර කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එමඟින් කාරක සභාව තුළින් හෙළි කරගනු ලබන තොරතුරු ප්‍රසිද්ධ වීම සම්බන්ධයෙන් ගැටළු ඇතිවන්නට විය.

තේරීම් කාරක සභාව වෙත පුද්ගලයින් ගෙන්වා සාක්ෂි විමසීමේ බලය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග (108) ”පනත් කෙටුම්පතක් හෝ යම් කාරණයක් යොමු කරනු ලැබූ විශේෂ කාරක සභාවක් විසින් එම පනත් කෙටුම්පත හෝ යොමුගත කාරණය පිළිබඳ සාක්ෂ්‍ය විභාග කිරීම පිණිස පාර්ලිමේන්තුව විසින් එම කාරක සභාවට තැනැත්තන් කැඳවීමට සහ ලිපිලේඛන සහ වාර්තා ගෙන්වා ගනු ලැබීමට යෝජනා සම්මතයක් මගින් බලය දෙනු ලැබිය හැකි අතර, එවැනි බලතල පවරනු ලැබ ඇති යම් කාරක සභාවකට එම කාරක සභාව ඉදිරියේ ලබා ගන්නා ලද සාක්ෂිවල කාර්යය සටහන් ද සමඟ කාරක සභාවේ මතයන් සහ නිරීක්ෂණ පාර්ලිමේන්තුවට වාර්තා  කිරීමට ද පාර්ලිමේන්තුවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීම සුදුසු යැයි සලකනු ලැබිය හැකි යම් කාරණයක් සම්බන්ධ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීමට ද අවසර තිබිය යුත්තේ ය.” ප්‍රකාරව බලය ඇත.

එසේම පාර්ලිමේන්තුව කල් තබා හෝ වාරඅවසාන කකර ඇති අවස්ථාවක වුවද විශේෂ කාරක සභාවකට සිය විමර්ශන අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බව ස්ථාවර නියෝග(109) ප්‍රකාරව බලය ඇත.

කෙසේ වෙතත් අදාළ විශේෂ තේරීම් කාරක සභාවට කැඳවනු ලබන පුද්ගලයෙකු තේරීම් කාරක සභාවට නොපැමිණියහොත් ඔහුට දඬුවම් පැමිණවීමේ බලයක් විශේෂ කාරක සභාව වෙත ලබා දී නැත. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ හෝ එවන් දඬුවම් පැමිණවීමේ බලයක් අදාළ විශේෂ කාරක සභාව වෙත ලබා දී නැත.

මේ අතර පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජුනි 10 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබාදී ඇති අතර ජනාධිපතිවරයා විසින් එම වාර්තාව වැඩිදුර කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතය.

එසේම පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පත් කළ විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වන අතර කතානායකවරයා විසින් අදාළ වාර්තාව ක්‍රියාවට නැංවීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකළ යුතු වේ.එසේ නීතිපතිවරයා වෙත යොමු කරනු ලබන විශේෂ කාරක සභා වාර්තාව ක්‍රියාවට නැංවෙනුයේ නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවූ පසුව ය.

නමුත් පසුගිය පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයේ ප්‍රධාන නඩු 5කට අධික සංඛාවක් විභාග වෙමින් පවිතින බැවින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඔස්සේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවලට හා සාක්ෂි නිරාවරණය  වීම හේතුවෙන් එය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා කතානායක කරූ ජයසූරිය මහතා වෙත දැනුම් දී තිබේ.

එමේන්ම අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තකට අදාළ සාක්ෂි ප්‍රසිද්ධියේ නිරාවරණය වීමට කටයුතු නොකළ යුතු අතර, යම් හේතුවක් මත සාක්ෂි විමසීම සිදු කළ යුතු වන්නේ නම් එම සාක්ෂි විමසීම අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවට හානියක් නොවන අයුරින් සිදු කළ යුතු වේ. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තුළින් මේ වන විට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත ජයසුන්දර හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ හා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යන පුද්ගලයින්ගෙන් සාක්ෂි විමසීම් සිදු කර ඇත.

එසේ සාක්ෂි විමසීම සඳහා කැඳවනු ලැබූ නිළධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින අතර එම පුද්ගලයින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබාදීම අධිකරණයේ එම විභාග වෙමින් පවතින නඩුවලට හානියක් බවයි නීතිපතිවරයා කතානායකවරයාට දන්වා ඇත්තේ. නීතිපතිවරයා එසේ කතානායකවරයා වෙත දන්වා තිබියදී ද අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කිරීමෙන් කතානායකවරයා සිදුකරනු ලබනුයේ අධිකරණ කටයුතු වලට බාධා පැමිණවීමක් නොවන්නේද?.