පාස්කු ප්‍රහාරයෙන් පසු සිංහල බෞද්ධ, ක්‍රිස්තියානි පිරිස අතර සිටින සුළු පිරිසක් මෙරට ජීවත්වන සුළු ජාතීන්ට එරෙහිව දැවැන්ත ස්වෝත්තමවාදී ආකල්ප (Chauvinist attitudes) ප්‍රවර්ධනය කරමින් සිටියි. 1815 සිට දීර්ඝ කාලයක් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට නතුව සිටි ශ්‍රී ලාංකික අප බ්‍රිතාන්‍යයන්ගේ ස්වෝත්තමවාදයෙන් පීඩා විදි බව අමතකය.

නමුත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1978) මගින් ද ජාති, ආගම්, ආදි භේදවලින් තොරව ‘‘මූලික අයිතිවාසකම්’ සෑම ලාංකික පුරවැසියෙකුටම හිමි වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ 10, 11, 12 (1 සහ 2)වගන්ති කියවා බැලීම මගින් ඒ බව වටහා ගත හැකියි.

එහි 12 (2) වගන්තිය මෙසේදක්වයි . ‘‘කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස් කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය.’’

නමුත් ශ්‍රී ලාංකිකයන්, සිංහල බෞද්ධයන් විශාල පිරිසක් මහා බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, අමෙරිකාව, කැනඩාව ආදි රටවල පමණක් නොවෙයි ඉස්ලාම් භක්තික මැදපෙරදිග, මැලේසියාව ආදි රටවලත් සංක්‍රමණිකයන් ලෙස, සේවකයන් ලෙස, සිසුන් ලෙස, ව්‍යාපාරිකයන් ලෙස පමණක් නොවෙයි පූජකයන් ලෙසත් ජීවත් වේ.

ලංකාවේ දී මහ ජාතිය වුවත් ඔවුන් ඒ රටවල දී සුළුජන කොටස්, සංක්‍රමණිකයන් බවට නිසඟයෙන්ම පත් වෙති. එවිට ඔවුන් ද පහසුවෙන් ඒ ඒ රටවල මහා ජාතියේ ස්වෝත්තමවාදී බලපෑමට ලක්වෙලා පීඩනයට, මර්දනය, පහත් කොට සැලකීමට හා ඇතැම් විට ප්‍රචණ්ඩත්වයට ලක් වෙනවා.

අප ජීවත්වන රට තුළ මහ ජාතිය පමණක් ජීවත් විය යුතුය නැතිනම් සුඵු ජාතිය පමණක් ජීවත් විය යුතුය යැයි සිතීම මෝඩ අදහසකි. මේ රටේ පවතින බහු වාර්ගික විවිධත්වය රටට සම්පතක් ලෙස භාවිත කිරීමට හෝ පෙළ ගැස්වීමට මෙරට පාලන අධිකාරියට දැනුමක් නොමැත. ඔවුන් සිදු කරනු ලබන්නේ ජන්දය වෙනුවෙන් ජාතිවාදය වැලඳ ගැනීම හෝ ප්‍රතික්ෂේප කොට ජන්ද වාසි ලබා ගැනීමය.

නමුත් ඔබ මදකට හිතුවාද මේ තුළින් රටේ සමාජ ව්‍යූහයට (fabric of society) සිදුවන හානිය පිළිබඳව. ජාතිවාදය යනු විශාල අර්බුඳයකට මඟ පාදන්නකි.   අද වන විට අන්තවාදි , ත්‍රස්ත ක්‍රියා සඳහා සම්බන්ඳ නොමැති බොහෝ මුස්ලිම් අහිංසක ජනතාව සමාජීය, ආර්ථික හා මානසික අර්බුද රැසකට මුහුණ පා ඇත.

මුස්ලිම් ජනතාවගෙන් බොහෝ පිරිසක් අවිධිමත් ආර්ථික ( Informal economics ) ක්‍රියාවලියක නිරතව සිටියි. වඩේ වෙළෙන්දෙක් , පොඩි තේ කඩයක්, ඇදුම් කඩයක් ආදි තමන්ගේම කියා  ඉතා කුඩා වෙළදාම් සිදු කරමින් එදිනෙදා ජීවිතය ගොඩදාගත් අහිංසකයෙකුට අද බඩේ පාර වැදී ඇත. ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටී ඇත. ජිවත් වීමට මඟක් නොමැත.  

ඇතැම් සිංහල, මුස්ලීම් කියා බේදයක් නොමැතිව පාසල් ගිය මුස්ලිම් දරුවන්ට අද පාසල් යාමට නොහැකිය. එකට බස් රථයක යාමට නොහැකිය. රෝහලේ බෙහෙත් පෝලිමේ සිටිය නොහැකිය. සියලු දෙනා ත්‍රස්ථවාදීන් බවට පත් කොට හමාරය. නමුත් ඇත්තෙන්ම සියල්ලෝම ත්‍රස්ථවාදීන් නොවේ. එහෙත් ඔවුන්ව ලේබල් කර ඇත.  

නමුත් මේ තුළින් සිදුවන්නේ සුළුජන කොටස් තවතවත් පීඩාවට පත් වීමකි. ඒ පිඩාව මත ඉදිරියේ දී සමාජ ව්‍යුහයට  (fabric of society) පලුදු එක් කරන්නකි. සුළුජන කොටස් තුළ මහා ජාතිය වෙනුවෙන් වෛරයක් ජනිත විය යුතු නැත.  සියලු දෙනා දෙනා සංස්කෘතික වශයෙන් යම් යම් විවිධත්වයන් (Cultural diversity ) පැවතියද සියලු දෙනා මානව සතත්ත්වයන් යැයි වටහා ගත යුතුය.

එසේ නොවුණ හොත් යම් දවසක සුළු ජාතීන්ගේ ( Minorities ) මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටීමට බටහිර හස්ථයන් මෙරටට අත පෙවීම වැඩි ඈතක නොවේ. පාස්කු ප්‍රහාරය පිටුපස සිටින ඇමරිකාව සහ නේටෝ සංවිධානයට අවශ්‍ය වන්නේ ද එයම වේ.  එබැවින් සංස්කෘතික අසංවේදීතාව පසකලා විවෘත්ත මනසකින් මෙම ගැටළුව දෙස   වහා බැලිය යුතුය. එසේ නොවුනහොත් මේ රට අපේ අපේ යැයි කියා එකිනෙකා මරා ගන්නටවත් අපටම කියා රටක් ඉතුරු නොවනු ඇත.